අහඹු

Dewyan Thilakasiri
7 min readDec 17, 2022

--

තාත්තා නැති වුණා කියලා අම්මා කෝල් කරලා කියද්දි මම හිටියේ ලෙක්චර් එකක. එහෙම්මම බස් එකේ නැගලා ගෙදර ආවා. එන ගමන් මට මාර අවුල්. වෙන මොකුත් හින්දා නෙවෙයි, මට දුක හිතෙන්නෑනෙ. ඇයි ඒ? මගෙම තාත්තගෙ මරණයටවත් දුක හිතෙන්නෙ නැත්තෙ ඇයි? තාත්තා ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ. නෝමල්-ටිපිකල් ශ්‍රී ලාංකික පියා. මම තාත්තට ඔච්චර අකමැති වෙන්න හේතුව ඒ මනුස්සයගේ රළු පරුෂ ගති හින්දා වෙන්ඩ ඕනෙ. මම දැනගෙන හිටියා මළගෙදර ඉවර වෙනකල්වත් මට කොහොමත් ඇඬෙන්නෙ නෑ කියලා. ඉතිං මම වල ලඟට යනකල් මිනියට කර ගහලා, වලට පස් මිටක් දාලා ඔහේ බලාගෙන හිටියා. ඊට පස්සෙ තමයි මාරම වැඩේ වුණේ. මළගෙදර ආපු කට්ටිය එහා මෙහා වෙනකල් ඉඳලා ගමේ මාමා තාත්තගෙ අතීතෙ ගැන කතාවක් ඇදලා ගත්තා. ඒක හෙන කටුක අතීතයක්. ඒ කතාව නොඇහෙන්න මට තව වෙනකල් දුකක් දෙනෙන එකක් නෑ. ඒත් ඒ කතාවත් එක්ක කියාගන්න බැරි තරමේ දුකක් එක්ක පුදුම විදිහේ තේරුම් ගැනීමක් ඇති වුණා. තාත්තගේ මම අකමැති රළු ගතිගුණ වලට හේතු මට තේරෙන්න ගත්තේ මේ අතීත කතාවත් එක්ක. මගෙ ජීවිත කාලෙම මම මේ මනුස්සයා ගැන වැරදි රූපයක් නේද මවාගෙන ඉඳලා තියෙන්නෙ කියලා හිතෙද්දිත් මට ඇඬෙන්න එනවා. වාන් දොරටු ඇරලා වගේ කඳුලු ගලාගෙන යද්දි මම අම්මව බදාගෙන උරහිසට ඔලුව තියාගෙන පැය ගාණක් ඇඬුවා. ඔන්න ඔය පසුතැවීම හින්දම තමයි මම තීරණය කරේ හැම සතියෙම තාත්තගෙ සොහොන ගාවට යන්න. නිකං නෙවෙයි මල් අරගෙන. මම වෙන විදියක් දැනගෙන හිටියෙ නෑ මගෙ හිත රවට්ටගන්න.

තාත්තගෙ ඉල්ලීම මත තාත්තා කැමතියි කිව්ව සොහොනක තමයි තාත්තව වැළලුවේ. ඕක අපි හැමෝටම ලොකු ප්‍රෙහේලිකාවක් වුණා. ඇයි එතනම? එතනට ලස්සනට ඈතින් මුහුද පේනවා, නිස්කලංකයි. මට ඒක නෙවෙයි ප්‍රශ්නෙ. අපේ ගෙදර ඉඳලා ගවු ගාණක් දුරින් තියෙන තැනකම ඇයි? අපි දන්නැති හේතුවක් ඇති සමහරවිට. සොහොන තිබ්බේ මම කැම්පස් එකට යන පාරෙමයි. මම වෙනදට කැම්පස් එක ගාවින්ම බැස්සට, තාත්තා නැති වුණාට පස්සෙ දැන් බහින්නෙ සොහොන ගාවින්. තාර පාරෙ ඉඳලා විනාඩි විස්සක විතර දුරක් පයින් ඇවිදින්න ඕනෙ සොහොන ළඟට. ඒක පොඩි කන්දක්. මම ඉතිං මල් අරගෙන ගිහිල්ලා තාත්තගෙ සොහොනට මල් තියලා සොහොන දිහා බලාගෙන ඉන්නවා. තාත්තා ඉන්න කාලෙ මම තාත්තට පේන්න සිගරට් බිව්වෙ නෑ. ඒත් තාත්තා දැනගෙන හිටියා. අපි දෙන්නා අතර ලොකු ගණුදෙණුවක් නොතිබුණ හින්දම තාත්තා ඒ ගැන මොකොවත් කියන්ඩ ගියෙ නෑ. ඒ පුරුද්දට තාමත් මම සොහොන් කොතෙන් ඩිංගක් එහාට වෙන්ඩ හරහ වැටිල තිබ්බ ගස් කඳක වාඩි වෙලා මූද දිහා බලාගෙන කැප්ටන් එකක් බොනවා. මේ සොහොනෙ තව සොහොන් කොත් දෙකයි තිබ්බේ. එව්වා වල් වැහිලා. මම සුද්ද කරනවා කියල හිතාගෙන හිටියට කවදාවත් කරගන්ඩ බැරි වුණා. දවසක් මම සොහොන ගාවට යද්දි පොඩි කොල්ලෙක් තණකොළ වීසි ගහනව. කතා කරල බැලුවම අනිත් සොහොන් කොත් දෙකෙන් එකක වළලලා ඉන්න අයගෙ නෑදෑයො ඉතාලියෙලු ඉන්නෙ. ඒ අය මේ ළමයගෙ තාත්තට මාසෙකට ගාණක් එවනවලු සොහොන සුද්ද කරල බලාගන්නවට. තාත්තා මේ දවස්වල අසනීප නිසාලු තනියම වීසි ගහන්නෙ. මාත් ඉතිං කම්මැලිකමට ඒ කොල්ලට රුපියල් පන්සීයක් මිටමොළවලා, තාත්තගෙ සොහොන සුද්ද කරන්න බාර දුන්නා. කොහොමත් මම ගේන මල් ගොඩගැහිලම එතන හැඩි වෙලා. කටපියාගෙන ඉන්ඩ බැරි කමට මම තුන්වෙනි සොහොන ගැන ඇහුවට ඒ පොඩි එකාට ඒ ගැන කිසි දැනුමක් නෑ. ඒ සොහොන කවුරුත් කවදාවත් සුද්ද කරලා නෑලු. සොහොනක තනියම ඉන්ඩ බය නැද්ද ඇහුවම “අයියා, මට දැන් දාහතරයි. මම පොඩි ළමෙක් නෙවෙයි!” කියලා පණ්ඩිත කතාවකුත් අහගෙන මම යන්න ගියා.

ඊළඟ පාර මම යද්දි මං ගාව වෙනදට වඩා මල් තිබුණා. මම සොහොන් තුනටම මල් තියලා. මූද පැත්ත හැරිලා කැප්ටන් එකකුත් බීලා යන්න ගියා. මම හිතන්නේ මට ඒ සොහොන් කොත් වලින් අමු දැන් මම හැම සතියකම පුරුද්දක් විදියට සොහොන් තුනකට මල් තියලා මූද දිහා බලාගෙන කැප්ටන් එකක් බොනවා. මිනී වල හම දිරලා මස් මතු වුණා. ඕජස් එක්ක හිටපු පණුවෝ ලොකු වුණා. මස් කුණු වුණා. ඇට මතු වුණා. අවුරුදු දෙකක්ම ගෙවිලා ගියා. එක සතියක්වත් මග අරින්නේ නැතුව මම අවුරුදු දෙකක් සොහොන් තුනකට මල් තියලා. තාත්තගෙ සොහොනට දවස් දෙක තුනක් වැඩිපුර මල් තියලා ඇති ඕන්නං. ඔය කාලය ඇතුළත සොහොන සුද්ද කරන කොල්ලව දෙතුන් පාරකට වඩා මට හම්බ වුණේ නෑ. මොකද මට නියමිත දිනයක් වත් වෙලාවක් වත් තිබුණේ නෑ සොහොන ගාවට යන්න. මම ජීවිතේට දැකලා නැති මිනිස්සු දෙන්නෙකුටයි, මගේම තාත්තටයි එකම විදියට සලකනවා දැන්. දවසක් මම සොහොන ළඟට යද්දි අර කොල්ලගේ තාත්තා කියල හිතන්න පුලුවන් මනුස්සයෙක් තණකොළ වීසි ගහනවා. මම ගිහින් ඒ මනුස්සයා එක්ක කතා කරා. “පුතා මට විස්තරේ කිව්වා, මම මහත්තයලගෙ තාත්තගෙ සොහොනත් සුද්ද කරා පහු ගිය මාස වල.” “ඔව් අංකල් මට දෙතුන් වතාවක්ම මල්ලිව හම්බ වුණා. එයා අතේ මම සල්ලි එව්වා. මේකත් තියාගන්න.” කියලා මම පන්සීයෙ කොළයක් මිට මෙලෙව්වා. දෙකට නැවිලා බොහොම කෘතඥපූර්වකව පන්සීයෙ කොළේ ගත්තු ඒ මනුස්සයට වැඩේ කරගන්න දීලා මම තාත්තගෙ සොහොනට ගිහිල්ලා මල් තිබ්බා. ඊළඟට මම ඉතාලියෙ නෑදෑයො ඉන්නවයි කිව්ව සොහොන ගාවට ගිහිල්ලා මල් තිබ්බා. එතකොටම අර මනුස්සයා කතා කරලා සතුටෙන් අහනවා, “මහත්තයා සොහොන් දෙකටම මල් තියෙනවා නේද?” කියලා. මම කිව්වා “මේ දෙකට විතරක් නෙවෙයි. අර සොහොනත් තියෙනවනෙ. මම මේ තුනටම මල් තියනවා.” කියල. ඒක කිව්වා විතරයි මේ මනුස්සයගෙ මූණෙ තිබ්බ හිනාව අතුරුදහන් වෙලා ගියා. වීසිකැත්ත වැටිලා තිබ්බ ගස් කඳට හේත්තු කරලා මගේ ළඟට ඇවිල්ලා රහසින් වගේ අහනව “මේ සොහොනේ ඉන්න තුන්දෙනාම මහත්තයගෙ නෑදෑයොද?” කියලා. මම තාත්තගේ සොහොන පෙන්නලා කිව්වා “නෑ මෙතන ඉන්නෙ අපේ තාත්තා අනිත් අයව දන්නෙ නෑ.” කියලා. “මහත්තයා දන්නවද මේ සොහොනේ වළදාලා තියෙන්නෙ කාවද කියලා?” තුන්වෙනි සොහොනට ඇඟිල්ල දික් කරගෙන මගේ මූණට එබිලා අහනවා. ඇඟිල්ලේ නියපොත්ත කහපාට වෙලා ඉරි තැලිලා. අතේ තැනින් තැන මයිල් ගස් සුදු වෙලා. වයස නිසාමද කොහෙද අත ටිකක් වෙවුලනවා. ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ. ඇහිබැම හා වෙලා. ඇහිබැමත් තැනින් තැන ඉදිලා. පොඩ්ඩක් වක් වෙච්ච නහයයි, පිළිවෙලක් නැති උඩු රැවුලයි, විට කහට බැඳුනු දත්. එච්චර උස නෑ. කොණ්ඩෙ තිබ්බෙත් නෑ තට්ටෙ. මගේ ජීවිතේ විශ්වාස කරන්ඩ බැරි දේවල් දෙකක් මට අහන්ඩ වුණා. මේ තමයි පළවෙනි එක මට කියන්ඩ යන මනුස්සයගෙ පෙනුම.

මම සොහොනෙ ඉඳලා තාර පාරට යනකල්ම හෙන හිස්. බස් තුනක් මාව පහු කරගෙන යනකල් මම පාර අයිනට වෙලා ඉඳලා. හොඳ වෙලාවට හතරවෙනි බස් එකේ මනුස්සයා නවත්තලා හෝන් කරා. එතකොට තමයි පියවිසිහියට ආවේ. නැත්තං තාමත් එතන. මම ලොකු වැරැද්දක් කරගෙන තියෙන්නෙ. මම දැන් දෙයක් හොයනවා. ඒ දේ හොයාගන්නම ඕනෙ. නැත්තං මම කොහොමද වැරැද්ද නිවැරදි කරගන්නෙ. මට මැරෙන්න වෙන්නෙ වැරදිකාරයෙක් විදියට. බස් එකෙන් බහිද්දි වෙලාව බැලුවා දවල් දෙකයි. දැනුයි මේ ආයෙ වෙලාව බැලුවෙ. දැන් රෑ අටයි. මම පැය හයක් තිස්සේ පරණ පත්තර ගොඩක් අස්සට වෙලා තාම හොයනවා. එකොළහට කිට්ටු වෙන්ඩ මම හොයපු දේ හම්බ වුණා. මම පහුවදා උදේම ලෙක්චර්ස් යන්නෙත් නැතුව මල් අරගෙන බස් එකකට නැග්ගා. ජීවිතේට ගිහිල්ලවත් නැති පැත්තක. බස් එකෙන් බැහැලා ළඟ තිබ්බ පොඩි කඩේකට ගිහිල්ලා මම හොයන දේ දිගටම හොයන්න ගත්තා. මම හිතන්නේ මම හොයපු දේ මට හම්බ වුණා. පාර අහගෙන මම මේ යන්නේ මගේ ජීවිතේම වෙනස් වෙන්න තියෙන තැනට. සොහොන් කොත් තුනක්. සුදු පාටයි. මම හිතන්නෙ කිරිගරුඩ. නිතරම කවුරු හරි යනවා එනවා වගේ අලුත්ම මල් වගයක් කොත් පාමුල තියෙනවා. ටිකක් ඈතට වෙන්න පරණ මල් ගොඩ ගහලා. වට පිටාව සුද්ද පවිත්‍ර කරලා තිබ්බේ. සුපුරුදු පරිදි ළඟ තිබ්බ ගහක් යටට වෙලා මම කැප්ටන් එකක් ගැහුවා. මම ගියා. හැම සතියෙම තාත්තගෙ සොහොන ගාවට ගිහින් මල් තියලා, ඉතාලි සොහොනටයි, තුන්වෙනි සොහොනටයිත් මල් තියනවා. කැප්ටන් එකක් බොනවා. වීකෙන්ඩ් එකේදි කිරිගරුඩ සොහොන් කොත් තුන ගාවට ගිහින් මල් තියනවා. කැප්ටන් එකක් බොනවා. ඔහොම දින සති ගෙවිලා යද්දි එක සතිඅන්තෙක මම කිරිගරුඩ සොහොන් කොත් තුනට මල් තිබ්බා. මට පිටිපස්සෙන් ඉන්න ගෑනු කෙනෙක් මගෙන් අහනවා “මහත්තයා මේ පළාතෙද මීට කලින් දැකල නම් නෑ” කියලා. මම හැරිලා බලද්දි ලස්සන මල් පොකුරක් අත් දෙකෙන්ම අල්ලගෙන පපුවට තුරුල් කරගෙන හිටියේ ගෑනු ළමෙක්. සුදු පාට ලස්සන දිග ගවුමක් ඇඳලා. ගවුමට වඩා ගවුමේ රේන්දෙ ලස්සනයි. මට හැබැයි ඒ රේන්ද මෝස්තරේ නම් තේරුනේ නෑ. ඒ හමේ පාට පුදුම ලස්සනක්. ගෝල්ඩ්ලීෆ් එකේ ෆිල්ටරේට දාන පාට ලෝකෙ තියෙන අප්‍රසන්නම පාටලු. ඒක පාවිච්චි කරන්න හේතුව සිගරට් බොන මනුස්සයා පෙළඹවෙන එක අඩු කරන්න කියලා මම අහලා තියෙනවා. ඒත් මට ඒ පාට හරි ලස්සනයි. මේ ඒ පාට කෙල්ලෙක්. මම මල් තියන්න බිමට නැවිලා හිටියේ. එහෙමම පොඩි හිනාවක් දාලා මම නැගිටලා සොහොන් කොත ළඟින් ඈත් වුණා. සොහොන ළඟට ඇවිදගෙන ඇවිල්ලා අර මල් ටික සොහොන පාමුල තිබ්බා. ඒත් එක්කම මගෙන් අහනවා, “මහත්තයා අනුලා පුංචිගේ යාලුවෙක්ද?” කියලා. වෙන වෙලාවක නම් මම බොරුවක් කියනවා, ඒත් මට මේ ලස්සන මූණ දිහා බලාගෙන බොරුවක් කියන්ඩ හිත දුන්නෙ නෑ. මම කිව්වා අනේ නෑ කියලා. එහෙනම්? “ඒක දිග කතාවක්. ඔය ළමයගෙ නම මොකක්ද කිව්වේ?” ළමයා කිව්වට මට වඩා අවුරුදු දෙක තුනක් බාල ඇති. “මම සඳලි.” කියන ගමන් මගේ පැත්තට හැරුනේ, දිග කතාව අහගෙන ඉන්න වගේ. තාත්තාගේ මරණයේ ඉඳලා නන්නාඳුනන සොහොන් කොත් දෙකකට මල් තියපු හැටිත්, සොහොන සුද්ද කරන මනුස්සයා තුන්වෙනි සොහොන ගැන විස්තර කියපු හැටිත් මම සවිස්තරව විස්තර කරා. බොහොම සාවධානව මගේ මුලු කතාවම අහගෙන හිටපු සඳලි මාත් එක්කම ගම දිහාවට ඇවිදගෙන ගියා. බස් එකකට නගින්න ඕනෙ කොතනින්ද කියලා ඇහුවම මාව හෝල්ට් එකටම එක්කගෙන ගියා. ඈතින් රතුපාටට ලදරම් බස් එකක් පැද්දි පැද්දි එනකොට මම හිතට හයිය අරගෙන, “මම මේ සොහොන් කොත් ළඟට හැම සතියෙම එනවා. ආයෙ දවසක හම්බ වෙමු එහෙනම්. ඔයාගෙ නම්බර් එක දුන්න නම් ආපුවම කතා කරන්න තිබ්බා.” කිව්ව එකට මම අංකයක් බලාපොරොත්තු වුණත් ලැබුණේ මද සිනහවක් විතරයි.

අවුරුදු කිහිපයකට පස්සේ මගේම කාර් එකේ බිරිඳත් එක්ක, එක සතිඅන්තයක සුපුරුදු පරිදි සොහොන් කොත් වලට මල් තියන්න ගියා. සඳලිගේ ගෙදර පහුවෙද්දි මට කාර් එකේ ජනේලෙන් ඒ දිහා බැලුනේ ඉබේටම වගේ. සඳලිගේ නෑදෑයො කිසිම කෙනෙක් එහෙ නෑ දැන්. සඳලිත් නෑ. කොහොමත් ඒ කාලෙ ඉඳලම සඳලිට නෑදෑයන්ගෙන් ලැබුණෙ කරදර මිසක උදව් නෙවෙයි. තව ටිකක් ඉස්සරහට යද්දි සඳලි මාව පළවෙනි දවසේ බස් එකට නගින්න එක්කරගෙන ආපු බස් හෝල්ට් එක පහු වුණා. කාර් එක එලවන ගමන්ම බිරිඳගෙ පැත්තට හැරුනු මම, “ඔයා දන්නවද, මගෙ ජීවිතේ විශ්වාස කරන්න බැරි කතා දෙකක් අහලා තියෙනවා. එකක් තමයි අපේ තාත්තගේ සොහොන ළඟඳි, සොහොන සුද්ද කරන මනුස්සයා මට කිව්ව කතාව. අනිත් එක තමයි ඔය පහුවෙච්ච බස් හෝල්ට් එකේදි මට කෙනෙක් කිව්ව කතාව.” මම එහෙම කියද්දි එයාගෙ මූණේ පොඩි හිනාවක් ඇඳුනා. “ඔතනදි ප්‍රපෝස් කරාම හා කිව්ව එක ඔච්චර විශ්වාස කරන්න බැරිද?” සඳලි එහෙම අහද්දි මම ඉස්සරහ බලාගෙන දිගටම කාර් එක එලවන්න ගත්තා. ඔව්. සඳලි දැන් මෙහේ නෑ. සඳලි ඉන්නේ අපේ ගෙදර. සඳලිගෙයි මගෙයි ගෙදර. තමන්ගේ ගෑනිවයි ළමයි දෙන්නවයි මරලා කෝච්චියට පැනපු ධම්මික තාම අපේ තාත්තගෙ සොහොනට එහා පැත්තෙ. මම අදටත් සොහොන් හයටම මල් තියනවා. ඉතාලි සොහොන් කොතේ මෙහෙම ගහලා තිබ්බා.

If I Had My Life To Do Over, I Would Find You Sooner So I Could Love You Longer.

*inspired by a true story.

--

--

Dewyan Thilakasiri
Dewyan Thilakasiri

Written by Dewyan Thilakasiri

Wandering the internet with a great interest in technology.

No responses yet